ආසියානු නැගී එන කණ්ඩායම් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’කණ්ඩායම ඊයේ සමත් විය. ඒ, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ලකුණු 134ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 19(18.1) වැනි පන්දුවාරයේදී පහසුවෙන් පසුකර යාමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත් විය.

ආසියානු අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙසින් 2013 වසරේදී ආරම්භ වී පසුව ආසියානු නැගී එන කණ්ඩායම් තරගාවලිය ලෙසින් සංශෝධනය වූ මෙම තරගාවලි ඉතිහාසයේ, ඇෆ්ගනිස්තානය ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ එකම අවස්ථාව ද මෙයයි.

කෙසේවෙතත්, තරගාවලි ඉතිහාසයේ දෙවරක් (2017, 2018) ශූරයන් වී සිටි ශ්‍රී ලංකාව මෙවර පළමුවරට අවසන් මහා තරගය පරාජය විය.