එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් ” Timed out” දවා ගැනීම සම්බන්ධයෙන් MCC ය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

නීතියේ සඳහන් වන එම මිනිත්තු 02ක කාලය තුළ පන්දුවට මුහුණදීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම් නොමැති බව පිටියේ සිටි විනිසුරුවරු තීරණය කර බවත්, පසුව මැතිව්ස් ගේ හිස්වැස්මේ ගැටලුවක් ඇති වූ අතර, එය ඔහු පන්දුවට පහරදීම තවදුරටත් ප්‍රමාද වීමට හේතු වූ බවත් එම පැහැදිලි කිරීම මගින් සඳහන් කරයි.

එමෙන්ම මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙන්නේ මිනිත්තු 02ක කාලය තුළ සැලකිය යුතු, යුක්ති සහගත, ක්‍රීඩා උපකරණ සම්බන්ධ දෝෂයක් ගැන විනිසුරුවන්ට දැනුම් දුන්නේ නම්, ඔවුන්ට එය නව ආකාරයේ ප්‍රමාදයක් ලෙස සැලකිය හැකිව තිබු බවයි. එමගින් විනිසුරුවරුන්ට පිතිකරුවාගේ එම ගැටලුව පිළිබඳ වන කාලය, ‘ Timed out’ දැවී යාමේ අවදානමකින් තොරව විසඳීමට ඉඩ සලසන බව වැඩිදුරටත් පැහැදිලි කර සිටියි.

මැතිව්ස්ගේ හිස්වැසුමේ දෝෂය ඇති බවට නිරීක්ෂණය වූයේ ඊට පෙර කඩුල්ල බිඳ වැටී මිනිත්තු 1 යි තත්පර 54කට පසුව බව පෙන්නුම් කර ඇති බවත්, ඔහු එම අවස්ථාවෙහිදී පන්දුව පිළිගැනීමට සුදානම් වීමක් හෝ සිය සීමා ඉර සලකුණු කිරීමක් සිදුකර නොමැති බවත් මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි.

ආරක්‍ෂිත හිස්වැසුම් කැඩී ගිය විට, මැතිව්ස් නව හිස්වැසුමක් ලබා ගැනීමේදී ක්‍රීඩකයෙකු විසින් බලාපොරොත්තු වන විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කිරීමක් නොකළ බව පෙනී යන බව ද MCCය වැඩිදුරටත් පවසා සිටියි. ඒ වෙනුවට, මැතිව්ස් ආදේශකයක් සඳහා ක්‍රීඩාගාරයට සංඥා කළ බවත්, ඔහු සිදු වූ දෙය විනිසුරුවන්ට පැහැදිලි කර එය නිරාකරණය කර ගැනීමට කාලය ඉල්ලා සිටියේ නම්, ඔවුන් ඔහුට හිස්වැසුම වෙනස් කිරීමට ඉඩ ලබා දෙන්නට තිබූ බවත් සමහර විට ‘Timed out’ නොවී සිටීමට ඉඩ තිබූ බවත් එමගින් පෙන්වා දෙයි.