ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මෙර​ට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මේ බව පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ඇය  ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගැන්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර ඇත.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ති​බේ.

එමෙන්ම පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බව ඇමෙරිකානු එක්සත් ජනපදය සඳහන් කර ඇත.

දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වැඩිදුරටත් සදහන් කර ඇත.