නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ඉඩම් අහිමි ජනතාව ඊයේ (17) තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ඉල්ලීම් සිදු කිරීමක් වාර්තා වේ..

එම ජනතාව පවසන්නේ තමන්ගේ පරම්පරාව ලංකාවේ වසර දෙසීයක් වන මොහොත වන විටත් තමන්ට ඉඩම් අයිතියක් නොමැති අතර එම නිසා විවිධ ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති බවත් පවසයි.

එමෙන්ම මෙම වැඩසටහන සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක රාමසාමී ආනන්ද බාබු මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ අර්ජුන මහතා පවසා සිටියේ උඩරට දමිල ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් සමරන මේ මොහොත වන විටත් ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබී නොමැති බවත් සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරත් එම අයිතිවාසිකම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් නොකරන බවත්ය. එම නිසා එම ජනතාවගේ ඉඩම් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කඳුරටින් තැබූ පළමු පියවර මෙය බවත් මෙම ඉඩම් ගැටලුව ලිඛිතව ඉඩම් ඇමති, ඉඩම් කොමසාරි සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව දැනුවත් කරන බවත් පවසා සිටියේය.