දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මගින් පවත්වන SAFF කුසලාන තරගාවලියට ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි නොවනු ඇත.

2023 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා පාපන්දු සඳහා FIFA මගින් තහනමක් පනවා ඇති නිසා ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියට සහභාගි විය නොහැක.

ජුනි 21වැනිදා සිට ජූලි 04 දක්වා ඉන්දියාවේ බැංගලෝර්හිදී SAFF ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ආරම්භක තරගයේදී කුවේට් කණ්ඩායම, නේපාලය සමග තරග වැදීමට නියමිතය. ඉන්දියාව ඔවුන්ගේ පළමු තරගය පාකිස්තානයට එරෙහිව එදිනම ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව 1993 වසරේ සිට 2021 වසර දක්වා SAFF තරගාවලියට සහභාගී වී තිබේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නොමැති නිසා ලෙබනනය සහ කුවේටය, SAFF රටවල් අතර නොසිටියද විශේෂ ආරාධනයක් ලැබීමෙන් පසු තරගාවලියට එක්වී ඇත.

ඉන්දියාව වත්මන් SAFF ශූරයන් වන අතර, ඉන්දියාව, කලාපීය තරගාවලියේ සාර්ථකම කණ්ඩායමද වේ. ඉන්දියාව අට වතාවක් (1993, 1997, 1999, 2005, 2009, 2011, 2015 සහ 2021) SAFF ශූරතාව දිනා ඇත. ශ්‍රී ලංකාව 1995 වසරේදී SAFF ශූරතාව ජයග්‍රහණය කර තිබේ.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් ලෙබනනය (99) තරගයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්හි පසුවන කණ්ඩායම වේ. ඊට පසුව ඉන්දියාව (101) ඉදිරියෙන් සිටී. අනෙකුත් ශ්‍රේණිගත කිරීම් පහත පරිදි වේ – කුවේට් (143), නේපාලය (174), පාකිස්තානය (195), මාලදිවයින (154), භූතානය (185) සහ බංග්ලාදේශය (192).