ඉදිරි වසර 05 ඉන්දියාවේ ස්වර්ණමය වසර 05 වනු ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

2024 පැවැත්වෙන මහා මැතිවරණයෙන් නියත වශයෙන්ම තමන් ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජය ගන්නා බව ද ඉන්දීය අගමැතිවරයා අඛණ්ඩ දස වැනි වරට අද (15) සිය 77 වැනි නිදහස් දිනය සමරමින් මෙසේ සදහන් කර තිබේ.

අර්බුදකාරී අවස්ථා වලදී ඉන්දියාව විවිධ රටවලට උදව් කරමින් ‘විශ්ව මිත්‍ර’ (ලෝකයේ මිතුරා) බවට පත්වී ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම නිදහස ලබා වසර 100ක් සැපිරෙන 2047 දී ඉන්දියාව වෙනස්ම රටක් බවට පත් කරන මාර්ගයේ ගමන් කරන තමන් ඇතුළු කණ්ඩායම ලබන වසරෙත් මෙලෙස රතු බලකොටුවේ සිට නිදහස් දිනයේ ජාතිය ඇමතීමට අදහස් කරන බව ඔහු අවධාරණය කර තිබේ.

දකුණු ආසියාවේ මහා බලවතෙක් සහ ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිතුරෙකු වන ඉන්දියාව අද (15) සිය 77 වැනි නිදහස් දිනය ඉන්දියාවේ රතු බලකොටුවේ දී සැමරිය.

1947 අගෝස්තු 15 වැනිදා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සමරන ඉන්දියාව අද ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දීය නිදහස් දිනය සැමරීමට අද දවස පුරා විවිධ උත්සව පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා නිදහස් දින උත්සවයට සහභාගී වෙමින් මෙසේ පවසා ඇත.

“2014 දී අපි බලයට පත්වන විට ලෝක ආර්ථිකයේ 10 වැනි ස්ථානයේ ඉන්දියාව සිටියා. අද කෝටි 140ක ඉන්දියානුවන්ගේ උත්සාහයෙන් අපි පස්වැනි තැනට ඇවිත් තියෙනවා. ඉදිරි පස් වසරේදී අප ලෝක ආර්ථිකයේ තුන්වන ස්ථානයට පත්වනු ඇත.වර්ෂ 2047 දී ඉන්දියාව නිදහසේ සිය වන වසර සමරන විට සංවර්ධිත ඉන්දියාවක්ව තිබෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. අපේ රටට ඇති හැකියාව සහ සම්පත් අනුව එය එසේ වනු ඇතැයි මම කියාසිටිමි.”