බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීම පවත්නා හිඟය මඟහරවා ගැනීමට ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු පවසා ඇත.

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් කුකුළු පැටවු බෙදාදීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා අද (19) ප්‍රකාශ කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ මත තෝරා ගත්, වාණිජ මට්ටමෙන් මේ වන විටත් බිත්තර නිෂ්පාදනයෙහි යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ (කුකුළු පැටවුන් 200ට වඩා සිටින) බිත්තර නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය කුකුළු පැටවුන් ලබා දීම තුළින් මාස 04 වැනි කෙටි කාලයක් තුළ ජනතාවට අවශ්‍යය බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන එහි ප්‍රථම අදියර නියමු ව්‍යාපෘතියක් ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද දින ඇරඹිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ජනතාවගේ දෛනික බිත්තර අවශ්‍යයතාවයෙන් 80 % පමණ මෙම වැඩසටහන හරහා සපුරා ගැනීම අරමුණ වේ.

සීමාසහිත ලංකා සත්ව නිෂ්පාදන හා සත්ව ගොවි පාලන සමූපකාර සමිතිය හරහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල හරහා කුකුළු පැටවුන් 2300ක ප්‍රමාණයක් අද දින ලබා දුන් අතර, ඉදිරියේදීි තවත් කුකුළු පැටවුන් 100,000 පමණ ප්‍රමාණයක් මෙම වැඩසටහන යටතේ බෙදා හැරීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන යටතේ තිරසාර ලෙස බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමත්, ඉදිරි මාස 4ක් යන විට මෙම වැඩපිළිවෙලේ ප්‍රතිලාභ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බවත් වෙළෙඳ ඇමතිවරයා සදහන් කර ඇත.

එමෙන්ම පාන් හා කෙටි ආහාර වල මිල ගණන් රුපියල් 10 කින් පමණ අඩු විය යුතු බවට උපදෙස් ලබා දුන් බවත්, රුපියල් 430ට පමණ පැවැති තිරිඟු මිල ගණන් මේ වන විට රුපියල් 160-170 පමණ අඩු මිලකට වෙළෙඳපොලේ අලෙවි වන බවත්, තිරිඟු පිටි හිඟය හා මිල ඉහළ යාම පාලනය සඳහා තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කර ඇති බවත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තිරිඟු මිල නැවත ඉහළ නොයන අතර එම සහතිකය මත බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බව ද ඔහු පවසා තිබේ.

ඉහළ යන කුකුළු මස් මිල ගණන් පාලනය සඳහාද අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.