එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද පැවැති තරගයෙන් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 199ක් පමණි.

එහිදී ස්ටීවන් ස්මිත් ලකුණු 46ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 41ක් රැස් කළග.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා කඩලු 03ක්ද, බුම්‍රා සහ කුල්දීප් යාදව් කඩලු 02බැගින්ද දවාගත්හ.

අනතුරුව ලකුණු 200ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ මුල් කඩුලු 03 මුළු ලකුණු 02ක් වනවිට දවාගන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව රෝහිත් ශර්මා, ඉෂන් කිෂන් සහ ශ්‍රියාස් අයියර් ලකුණු නොලබා දැවී ගියහ.

ඉන් අනතුරුව පිටියේ එක්වූ විරාට් කෝලි සහ කේ.එල්. රාහුල් ලකුණු 165ක සබඳතාවක් ගොඩ නගමින් ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41.2 අවසානයේ කඩුලු 04දැවී ලකුණු 201 රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය. එහිදී කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 91ක් සග විරාට් කෝලි ලකුණු 85ක් රැස් කළහ. තරගයේ වීරයා සම්මානය රාහුල්ට හිමි විය.