බෙංගාලයේ මහා සිනමාකරු ලෙස  හඳුන්වන, ඉන්දියානු සිනමාවේ සම්මානනීය, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ශ්‍යාම් බෙනගල්ගේ අධ්‍යක්ෂණයෙන්  සහ ඉන්දු බංග්ලාදේශ දෙරටේ ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාවන්හි සම නිෂ්පාදනයක් ලෙස චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබෙනවා.

MUJIB: The Making of a Nation ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය “බංගබන්ධු”  (බෙංගාලයේ මිතුරා) යන නාමයෙන් හඳුන්වනු ලබන බංග්ලාදේශයේ පළමු ජනාධිපති “ශෙයික් මුජිබ්-උර් රහුමාන්” ගේ ජීවිත කථාව පිළිබඳව නිර්මාණය කර ඇති අතර, එම චරිතය නිරූපණය කරන්නේ බංගලාදේශ නළු අරිෆින් ෂුවූ විසින්.

බංග්ලාදේශ  රජයේ අනුග්‍රහයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වන මෙය බංග්ලාදේශ සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන බව හිටපු ජනපති රහුමාන් මහතාගේ දියණිය වන වත්මන් බංගලදේශ ගරු අගමැතිනිය වන ශෙයික් හසීනා මැතිණිය ප්‍රකාශ කර තිබෙනවා.

2022 සැප්තැම්බර් මස තිරගත කිරීමට සැලසුම් කර තිබුණද, මතුවූ විවිධ ගැටළු හේතුවෙන් තිරගත කිරීම ප්‍රමාද වූ Mujib චිත්‍රපටය හෙට දින (13) ටොරොන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.