සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම අද (27) සමත් විය. ඒ ලකුණු 43කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.

අද පැවති තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කල අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් විය.

ඒ අත​ර නායක සූර්යකුමාර් යාදව් ලකුණු 58ක්ද, යෂස්වි ජයිස්වාල් ලකුණු 40ක්ද, රිෂාබ් පාන්ට් ලකුණු 49ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 34ක්ද
රැස් කිරිමට සමත් විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 04ක්ද, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුසංඛ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු02ක් අවසානයේ සියලු දෙ​නා දැවී ලබාගැනීමට හැකි වූ​යේ ලකුණු 170ක් පමණි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අගනා ඉනිමක් ක්‍රීඩාකරමින් මුල් පෙල පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 79ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 45ක්ද රැස් කිරිමට සමත් විය. නමුත් මැද පෙළ අසාර්ථකත්වය හමු​වේ ලකුණු 43කින් තරඟය පරාජයට පත් වීමට ශ්‍රි ලංකා පිලට සිදු විය.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුළු 02 බැගින්ද, රියන් පරග් කඩුළු 03ක්ද, රවී බිෂ්නෝයි සහ මොහොමඩ් සිරාජ් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්​ස තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනත්, තුන්වැනි තරගය 30 වැනිදා​ත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.