අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හෙට (ජන. 2) සිට යළිත් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ සඳහා පසුගිය 25 වන දා සිට ආසන වෙන් කරවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කලේය.

ඉන්දියාවේ නාගපට්ටනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි දක්වා වූ මෙම බෝට්ටු සේවය පසුගිය වසරේ ආරම්භ කෙරිණි.

ශිවගංගෙයි මගී ප්‍රවාහන බෝට්ටු සේවා සුබාම් ග්රූප් සමාගමේ සභාපති සුන්දරරාජ් පොන්නුසාමි ප්‍රකාශ කර තිබුණේ, මේ වසරේ මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව 2025 වසරේ සිට සතියට දින හයක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඉන්දියාවේ නාගපට්ටනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය දක්වා මෙම ගමන් ගාස්තු වශයෙන් රුපියල් 29,100ත් 33,200 ත් අතර මුදලක් වැය වන බව ද එම සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව භාවිත කරන මගියෙකුට එකවර කිලෝග්‍රෑම් 50ක භාණ්ඩ රැගෙන යාමේ අවස්ථාව හිමිවේ.