ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එසේම 2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද, LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවද ඔවුන් එම නිවේදනයෙ සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා වල දැක්වෙන්නේ.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩු හි ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය කිරිම හේතුවෙන් අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ලකර ඇති බව මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන්ව ඇත.