සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 05කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වන්ට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් රැස් කළේය. එහිදී නායක රෝමන් පවල් ලකුණු 48ක් සහ නිකලස් පූරන් ලකුණු 41ක් රැස් කළහ. පන්දු යැවීමේදී යුශ්වේන්ද්‍ර චහාල් සහ අර්ෂ්දීප් සිං කඩුලු 02 බැගින් බිඳ හෙළීය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 145ක් පමණි. ඒ අනුව ලකුණු 04ක තියුණු ජයක් කොදෙව්වන්ට හිමි විය. ඉන්දියාව වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 39ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ඔබෙඩ් මැකෝයි, ජේසන් හෝල්ඩර් සහ රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 02බැගින් දවාගත්හ.

තරගයේ වීරයා සම්මානය ජේසන් හෝල්ඩර්ට හිමි විය. තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (06) පැවැත්වීමට නියමිතය.