ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කොවුර්ට තරග ගාස්තුවෙන් 75%ක දඩයක් සහ දඬුවම් ලකුණු හතරක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ ඇය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති අවසන් එක්දින තරගයේදී සිදු කළ විනය විරෝධී හැසිරීම් රටාව සහ විනිසුරුවන් සමග බහින්බස් වීම හේතුවෙනි.

මෙම තරගයේදී විනිසුරුවන් හර්මන්ප්‍රීට් කොවුර්ගේ දැවීයාම සම්බන්ධයෙන් ලබාදුන් තීරණයට විරෝධය දක්වමින් ඇය සිය පිත්තෙන් කඩුලුවලට පහර දුන් අතර, විනිසුරුවරයා සමගද උණුසුම් වචන හුවමාරු කරගැනීමක් සිදු කළාය. අනතුරුව පැවති ත්‍යාග ප්‍රධානයේදීද ඇය විනිසුරුවරුන්ට චෝදනා එල්ල කළාය.

එමෙන්ම ඇය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන්ද නොමනා ආකාරයෙන් කටයුතු කළ අතර, මේ හේතුවෙන් බංග්ලාදේශ නායිකාව ඔවුන්ගේ කුසලානය ලබාගැනීම පසෙක තබා සිය කණ්ඩායම ක්‍රීඩක විවේකාගාරය වෙත කැඳවාගෙන ගියාය.