ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී මේ බව පවසා තිබුණි.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය , එල්එන්ජී සැපයුම , දෙරට අතර ඉදිකිරීමට යෝජිත ඛණිජ තෙල් නල මාර්ගය හා තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ. සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරිම් ලබන මාසයේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද මෙහිදී අනාවරණය කර ඇත.

මෙරට දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී අවදානය යොමුවු බව වාර්තා වන අතර ත්‍රිකුණාමලය සංවර්ධනය සහ කංකසන්තුරය වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන් තොටුපල සහ කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම කෙරෙහි ද සාකච්ඡා කළ බවට වාර්තා වේ.

මැති ඇමතිවරුන් නිලධාරීන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිට තිබෙන අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡා වලදී කරුණු කීපයක් පිළිබඳ මෙහිදී අවදානය යොමුකර ඇත.

උතුරු හා නැගෙනහිර යන පළාත් නියෝජනය කරන දෙමළ මහජන නියෝජිතයින් සමඟ ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වන අතර එම පළාත් සංවර්ධනය කිරීම මෙන්ම බලය බෙදා හැරීම ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා වී වු බවට වාර්තා වේ.