ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලෙන් හමාස් සංවිධානය සතු ආයුධ සහ උපකරණ සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසා ඇත.

ඔවුන් විසින් වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් කරමින් මෙය සඳහන් කර සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ මෙහෙයුමක් දියත් කළ අතර එය විස්තර කළේ හමාස්ට එරෙහිව සිදුකෙරෙන ඉලක්කගත මෙහෙයුමක් ලෙසය.

හමාස් සංවිධානය රෝහල යටතේ උමං මාර්ගවල අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එක්සත් ජනපදය පවසන්නේ මේ සඳහා සහාය දක්වන බුද්ධි අංශ තොරතුරු තමන් සතුව ඇති බවය.

හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරන අතර රෝගීන් සහ කාර්ය මණ්ඩලය සමග සිවිල් වැසියන් සිය ගණනක් එහි නවාතැන් ගෙන සිටින බැවින් රෝහල වැටලීම යුද අපරාධයක් බව පවසා ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයේ දිගු කරන ලද මානුෂීය විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර තිබේ.

ධවල මන්දිරය සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බව පවසන අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානියා පවසන්නේ රෝහල් යුද පිටියක් නොවන බවය.

හමාස් සංවිධානයෙන් ඔක්තෝබර් 7 එල්ලවූ ප්‍රහාරයෙන් 1200ක් පමණ පිරිසක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනිණි.

ඉන් පසුව ඊශ්‍රායල ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබිය.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ 4,500 කට වැඩි ළමුන් පිරිසක් ඇතුළුව 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.