දෙමළ ජනතාවගේ උරුමයන් විනාශ කිරීමට විරෝධය පළ කරමින් දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හා සිවිල් සමාජ සංවිධාන වල සහභාගිත්වයෙන් යාපනය නල්ලුර්හිදි ඊයේ (16) සංකේතාත්මක සත්‍යග්‍රහයක් පැවැත්විණි.

නාදුනන පිරිසක් විසින් විනාශ කරනු ලැබු වව්නියාව වෙඩුක්කුනාරි ආදිසිවන් කෝවිල යළි ස්ථාපිත කිරීම සහ එම කෝවිල විනාශ කළ පිරිස් හදුනාගෙන ඔවුන්ට දඩුවම් ලබාදීමට කටයුතු කිරීම, කුරුන්තුර් මලෙයි, කින්නියා උණුදිය උල්පත් පරිශ්‍රය ආශ්‍රීත ශිවදෙවි වන්දනාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම, වාර්ගික සමගිය හා ආගමික සංහිදියාව බිඳ දැමෙන අයුරින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සිදු කරන බව කියන පුරාවිද්‍යා කටයුතු වහාම නතර කිරීම, මඩකළපුව මයිලතනෙයි තෘණ භුමීය නැවතත් ගොවීන්ට ලබාදීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම සත්‍යග්‍රහය පැවැත්විණි.

මෙම සත්‍යග්‍රහයට දෙමළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, ඉලංගෙයි තමිල් අරසු නායක මාවෙයි සේනාධිරාජා, තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වි විග්නේෂ්වරන්, උතුරු නැගෙනහිර සපළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන හා ආගමික සංවිධාන නියෝජිතයින් සහභාගි වී සිටියහ.

රාජිනි මෙන්ඩිස්