එළැඹෙන මහ මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර සියලු ම පක්ෂ ඒකරාශී කිරීමේ කාර්යය බ්‍රිතාන්‍යයේ දමිළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන අල්ලි රාජා සුබාෂ්කරන් මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔහු බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු වන අතර මෙරට පුවත්පතක්, ප්‍රධාන රූපවාහිනි නාළිකාවක්, ගුවන් විදුලි නාළිකා කිහිපයක් සහ මාධ්‍ය ජාලයක හිමිකරුවා ද වන අතර උතුරේ ඉපදුණු ඔහු එම ප්‍රදේශයේ ජනතාව හඳුනන චරිතයක් ලෙස සඳහන් වේ.

පසුගිය දා උතුරේ විවාදාත්මක දේශපාලකයෙකු වන හිටපු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් හමුවී විසිර ඇති දෙමළ පක්ෂ සියල්ල පොදු සන්ධානයකට ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය දා ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ද මෙම පක්ෂ නායකයන්ට පොදු සන්ධානයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටි අතර ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ආරාධනා ලද පක්ෂ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, තමිල් මක්කල් කුට්ටනි, තමිල් නැෂනල් මක්කල් කුටනි යන පක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වී ඇත.

අල්ලි රාජා හමුවීමෙන් පසුව ශ්‍රී ධරන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද හමුවී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.