ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ක්‍රිකට් ආකෘතියට අදට වසර 53ක් සපිරේ. 1971 ජනවාරි 05වැනිදා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය පවත්වා ඇත. එම තරගය පන්දුවාර 40ක තරගයක් ලෙස ක්‍රියාත්මක වී තිබේ.

එදා පටන් අද වනතුරු එක්දින තරග 4000වැඩි ප්‍රමාණයක් පවත්වා තිබේ. ඉන් වැඩිපුරම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාව තරග 1055ක් ක්‍රීඩා කර ඇත. ශ්‍රී ලංකාව එක්දින තරග 909 ක්‍රීඩා කරමින් තරග 415 ජයගෙන තරග 450ක් පරාජය වී තිබේ.

එක්දින පිටියේ එක් ඉනිමක වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාවට එංගලන්තය හිමිකම් කියන අතර, ඔවුන් පන්දුවාර 50 තුළ ලකුණු 498ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවීය. එක්දින පිටියේ ඉනිමක අඩුම ලකුණු රැස් කිරීමේ වාර්තාව ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි අතර, ඔවුන් ලකුණු 35කදී සියලු දෙනා දැවී ගොස් තිබේ.

එක්දින පිටියේ වැඩිම ලකුණුලාභියා සචින් ටෙන්ඩුල්කාර්ය. ඔහු ඉනිම් 452කදී ලකුණු 18426ක් රැස් කරගෙන තිබේ. එක්දින පිටියේ ක්‍රීඩකයෙන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 264කි. ශ්‍රී ලංකාවට එරෙහිව රෝහිත් ශර්මාගේ පිත්තෙන් එම ද්විත්ව ශතකය වාර්තා විය.