අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. එහිදී එන්.සී.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අද උදෑසන 10.00ට ආරම්භ වූ එන්.සී.සී. සහ මුවර්ස් අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය පන්දුවාර 13ක තරගයක් ලෙසින් පැවැත්විණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම පන්දුවාර 13 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 131ක් රැස් කිරීමට සමත් විය. මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ සොහාන් ද ලිවේරා පන්දු 17කදී ලකුණු 37ක් රැස් කළේය.

අනතුරුව පිළිතුර ඉනිම ක්‍රීඩා කළ එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර 9.5කදී ලකුණු 138ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 26කදී ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය. ඊට 04 පහර 11 සහ 06 පහර 03ක් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානයද නිරෝෂන් දික්වැල්ලට හිමි විය.

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය ඒස් කැපිටල් කණ්ඩායම සහ කෝල්ට්ස් කණ්ඩායම අතර පැවැත්විණි. එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය. එහිදී පිත්තෙන් සාර්ථක වූ පවන්ත වීරසිංහ පන්දු 52කදී ලකුණු 73ක් රැස් කළ අතර, ඊට 04 පහර 06ක් සහ 06 පහර 04ක් ඇතුළත් විය. කෝල්ට්ස් කණ්ඩායම කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ධනංජය ලක්ෂාන් ලකුණු 30කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 18.4 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 152ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. එහිදී කෝල්ට්ස් වෙනුවෙන් පිත්තෙන්ද දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් පන්දු 32කදී ලකුණු 51ක් රැස් කළේය. ඊට 06 පහර 03ක් සහ 04 පහර 03ක් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානයද ධනංජය ලක්ෂාන්ට හිමි විය.

ඒ අනුව අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (11) එන්.සී.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ යුද හමුදා කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසිවීම විශේෂත්වයකි.