‘එල් මායෝ‘ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාව ප්‍රාන්තයේ එල් පාසෝ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ඇමරිකානු බලධාරීන් සමත් වී තිබුණි.

‘එල් මායෝ‘ සමග එල් චාජෝගේ පුත්‍රයා ව​න ගුස්මාන් ලෝපේස් ​ද ඇමරිකානු අත්අඩංගුවට පත්වුණි.

වයස අවුරුදු 70ක් පමණ වන සම්බාඩා නැත්නම් එල් මායෝ සහ වයස තිස් ගණනක් වූ ගුස්මාන් ලෝපේස් පෞද්ගලික ගුවන් යානයකින්, එල් පාසෝ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ඇමරිකානු බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙක්සිකෝවේ විශාලතම මත්ද්‍රව්‍ය කල්ලිය සිනලෝවා පිහිටුවනු ලැබූ ‘එල් චාපෝ‘ ගුස්මාන් 2017 වසරේදී මෙක්සිකෝව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට පිටුවහල් කළ අතර නඩු විභාගයකින් ප​සු ‘එල් චාපෝ‘ ට ඔහු සිදුකළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැරදිවලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණී.

එල් චාපෝ සම​ග සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය පිහිට වූ​යේ ඔහුගේ සගයා ව​න ඉස්මයෙල් සම්බාඩා නැත්නම් ‘එල් මායෝ‘ වන අතර ඇමරිකා​වේ දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇති ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය අමෙරිකාවට රැගෙන ඒමට ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ ඔහු බව විශ්වාස කර​යි.

වයස අවුරුදු 18ත් 45ත් අතර අමෙරිකානුවන්ගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය බව අනාවරණය වී ඇත.

ගුස්මාන් ලෝපේස්, ඇමරිකා​වේ බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය කල්ලි නායක ‘එල් චාපෝ‘ගේ පුත්‍රයින් 04 දෙනාගෙන් එක් අයෙකි.

ඔහු සිය පියාගෙන් උරුම වූ සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙය වන බව විශ්වාස කෙරෙයි.

ඔහුගේ තවත් සොහොයුරෙකු වන ඔවිඩියෝ ගුස්මාන් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඇමරිකාවට පිටුවහල් කරනු ලැබීය.

මාරාන්තික ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය ඇමරිකාවට ගෙන එන අපරාධ කල්ලිවලින් ප්‍රධානතම සැපයුම්කරු වන සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලිය ගතවූ වසර කිහිපය තුළ ඇමරිකානු බලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණි.

දැන් අත්අඩංගුවට පත්වී ඇති එල් මායෝ සහ ගුස්මාන් ලෝපෙස්ට එරෙහිව ෆෙන්ටනිල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීමේ ජාලයක් පවත්වා ගෙන යාම ඇතුළු සාපරාධී මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් චෝදනා ගොනු කිරීමට නියමිතය.

මොවුන් අත්අඩංගුවට ගැනීමේ පුවත මුලින්ම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළ අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුව නිවේදනයක් නිකුත් කරමින් එය සනාථ කළේය.

ඉස්මයෙල් සම්බාඩා නැත්නම් එල් මායෝ සහ ගුස්මාන් ලෝපේස් රැගත් බීච්ක්‍රාෆ්ට් කිං එයා ගුවන් යානය එල් පාසෝ ආසන්නයේ පිහිටි සැන්ටා තෙරේසා ගුවන්තොටුපොළට ගොඩබෑමේදී එහි ඔවුන් එනතුරු බලාසිටි අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවා නියෝජිතයන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව වාර්තා විය.