අපොස සමාන්‍ය පෙළ විභාගය සඳහා ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ භාරකරුවන් පවසා ඇත්තේ මෙම සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණත් ඔවුන් යළි නිවසට නොපැමිණි බවයි.

අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමඟ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේනමුත් පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති අතර, ඉන් මඳ වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.