මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කඩිනම් කරන ලෙස පසුගියදා පොලිසියට නියෝග කළ සිද්ධි අතරට ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම ඇතුළත් නොවන බව වාර්තා වේ.

ප්‍රමුඛ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට උපදෙස් ලබාදී ඇත.

වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතන සහ එක්නැළිගොඩ අතුරුදන්වීම ඉහත ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ පරීක්ෂණ සිදු කරන්නේ පොලිසිය මිස අමාත්‍යාංශය නොවන බැවින් අවශ්‍යනම් පොලිසිය අමතා ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙසයි.

පරීක්ෂණ 7ක් සම්බන්ධයෙන් පමණක් වැඩබලන පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත.

එම පරීක්ෂණ 7 වන්නේ 2023 වසරේ වැලිගම W 15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය, 2022 දී සිදුවූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සැක සහිත මරණය, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, 2015 වසරේ සිදුවූ බව කියන මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව, 2011 වසරේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් අතුරුදහන් වීම, 2006 වසරේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු වූ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන් වීම සහ 2005 දී මාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන්ය.

2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ සිදුවූ එක්නැළිගොඩගේ අතුරුදන්වීම, වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතන එකල දේශපාලන ප්‍රභූන්ගේ වුවමනාව මත සිදු වූ බවට චෝදනා එල්ල වේ.

පසුගිය රජයන් නිසි පරීක්‍ෂණ පවත්වා සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වූ බවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පාර්ශව කිහිපයක් චෝදනා කරයි.