ජීවිතය හැමවිටම,හැමෝටම අනුග්‍රහශීලී නැහැ.කාරුණික නැහැ.”ජීවත් වීම” නම් ක්‍රියාවලිය වෙනුවෙන් ඇතැමෙකුට ගෙවන්නට සිදුවන වන්දිය අන්ත අසාධාරණයි.”පොඩ්ඩියේ” ගීතයේ දී අපට මුණ ගැසෙන්නේ අන්න එහෙම අසාධාරණයකට ගොදුරු වූ අම්මා කෙනෙක්.

ඇය “දස දහසක් සක්වළ තරු එළිය කරන අම්මා” කෙනෙක් නෙවෙයි.ඇය “ඔටුන්න බිම දා දුව ගෙන එන පුතා පිලිගන්නට ඉදිකඩ ලග මග බලා ඉන්න අම්මා” කෙනෙකුත් නෙවෙයි.ඇය කිසිසේත්ම “ගමට කලින් මුළුතැන්ගෙට වැඩම කරන හිරු එළියකුත්” නෙවෙයි.එහෙත් ඇය ද අම්මා කෙනෙක්.අම්මා කෙනෙකුට උරුම අප්‍රමාණ භක්තියට හෝ අනන්ත පූජාවට ඇය කොහෙත්ම සුදුසු නෑ කියලා හිතන දියණියක ගේ අම්මා කෙනෙක්.

පොඩ්ඩී ගේ සිත තුළ අම්මා කෙරෙහි පූජනීය හැගීම් නූපදින්නෙ අම්මාට තෝරාගන්නට සිදු වී තිබෙන රැකියාව නිසා.

තනේ කඩා විසි කර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නෙ වන ඵල විෂ වී නම්
නගේ දැන් යමන් පඬි පුර ගිනි තියපන්

සතා කියා ඉදහිටකදි ඇසුනාට
කතා හදන උන් සේරම බෝසත් ද

වෛශ්‍යාවක් වුණත් ඇය අම්බපාලිය වගේ ගෙෘරව බහුමානයට පාත්‍ර වෙන්නෙ නැහැ.මියා කලීෆා වගේ ජනාදරය ට ලක් වෙන්නේත් නැහැ.ඒ වෙනුවට ඇයට උරුම වෙන්නේ ගැරහුම්.සරදම්.අපි අම්බපාලි ට හරි මියා කලීෆා ට හරි “සතා” කියන්නෙ නැහැ.”ගොනා” කියන්නෙ නැහැ.”බඩුව” කියන්නෙ නැහැ.ඒත් පාරට වැටිලා ලයිට් කණුවක් යට රෙද්ද උස්සන්න බලාගෙන ඉන්නෙ පීඩිත පංතියේ ගෑනියෙක් නම්,ඒ ගෑනි ට ගල් ගහන්න දෙපාරක් හිතන්නෙ නැහැ.

දන්කද නැති දාට රන්කද වී පෙනිලා
ලොකු හාමුදුරුවෝ අණකර බණ පද එව්වා
මුචලින්ද ගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා

අම්බපාලියට සරණ වෙන්න බුදුන් වහන්සේ වැඩ සිටියා.ඒත් පොඩ්ඩී ගේ අම්මාට?ඇය සියලු ගුණවන්තයන් ගේ කුදු මහත් අවශ්‍යතා සපුරාලන්නට සැදී පැහැදී පේ වී සිටින මෙවලමක් පමණයි.කෙළිබඩුවක් පමණයි.ඇගේ අසරණකම වෙනුවෙන් මුචලින්ද ගේ ඇහේ “නයි කඳුලක්” උපදිනවා කියලා ටිම්රාන් ලියද්දි,ඒක හරිම උත්ප්‍රාසජනකයි.අපි දන්නවා,අඹෙන්,දඹෙන්,ජලෙන්,ගලෙන්,දලෙන්,මලෙන් වගේම නයි කඳුළිනුත් පත්තිනි උපන්නා.

මෙහි කියවෙන අම්මාත් වඩා කැමති ඇති,පත්තිනියක් වීමේ පරමාදර්ශය වෙනුවෙන් ජීවිතය ලකලෑස්ති කොට තබන්නට.එහෙත් ජීවිතය විසින් ඇයට ප්‍රදානය කොට තිබෙන්නෙ වඩාත් දුෂ්කර අභියෝගයක්.කිසිම ගැහැණියක් වලත්තකමට හෝ පාදඩකමට වෛශ්‍යා වෘත්තිය තෝරාගන්නෙ නැහැ.දුප්පත්කම නම් විෂකුරු සාපය මග හැර යන්නට ඇයට වෙනත් විකල්ප මාවතක් හමු නොවෙන්නට ඇති.ඒ වෙනුවෙන් පතිවත බිල්ලට දෙන කොට ඇගේ ආත්ම අභිමානය පතුරු පතුරු ගැලවෙන්නට ඇති.එහෙත් ඇගේ උකුළ,ළැමහස,මලවි කරලිය දුටු කිසිදු පිරිමියෙකු අන්ත අසරණව හැකිලී වකුටු වී ඉකිබිදින ඇගේ අවිහිංසක ආත්මය නොදකින්න ඇති.

එය දක්නට තරම් දයාවක්,ඉවසිල්ලක් සහ පරිණත ජීවනාවබෝධයක් ඇත්තේ ඇගේ පුත්‍රයාට පමණයි.ඒ නිසයි ඔහු සිය නැගණිය වූ පොඩ්ඩී ට අණ කරන්නේ අම්මා ගේ දෙපා නමදින ලෙස.

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැදපන් අම්මාට

ගීතයේ මේ කො⁣ටස ඇහෙද්දි මට මතක් වෙන්නෙ රස්කොල්නිකව්.පියදෝර් දොස්තොයෙව්ස්කි කියන මහා රැසියානු ලේඛකයගෙ “අපරාධය සහ දඩුවම” කියන විශිෂ්ට නවකතාවෙ තමයි රස්කොල්නිකව් ඉන්නෙ.ඔහු ත් නවකතාව අවසානයේ ගණිකාවකගෙ දෙපා මුල වැද වැටෙනවා.ඒ පිළිබදව විමසන ඇය ට ඔහු කියන්නෙ “මම වැද වැටුනෙ ඔබ තුළ ජීවත් වෙන උදාර මනුෂ්‍ය ආත්මයට” කියලයි.

අප ගී ලියා ඇති සියලු මව්වරුන් මෙන්ම මේ මව ද උදාරයි.ඇය තිත්ත කසාය ගිලිමින් සිටින්නේ දරුවන්ගේම අට අනූවක් ව්‍යාධීන්ට.ඒ උදාර මව් ආත්මය හදුනා ගැනීමට බැරි තරම් සමාජය සෝබනයි.අකෘතඥයි.අවිචාරශීලීයි.
දෙදහස් පන්සිය වසරක් තිස්සේම හේතුඵලවාදය ගැන බණ ඇසුවත් එය ඵලය මිස හේතුව ගවේෂණය නොකරන සමාජයක්.

පොඩ්ඩී යනු ඒ සමාජයේම නියෝජනයක්.ඒ වගේම එහි ගොදුරක්.ඇය අම්මා ගෙ ගුණ කද මනින්නට යන්නෙ සමාජය විසින් සාදා දෙන කෝදුවකින්.ඇය දන්නෙ නැහැ ඒ මිනුම් දඩු පැරණි බව.මොට්ට බව.විෂ සහිත බව.දරුවන් ගේ සිත් තුළ ට විෂ එන්නත් කරන එබදු සමාජයකින්,ඒ නිසාමයි අපි ඇසිය යුත්තේ “කතා හදන උන් සේරම බෝසත් ද” කියලා.

නලින්ද සංජීව ලියනගේ