ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේදී දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිල‌යේ සභාපති ජෙයී ෂා මහතා පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ලවන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද දැඩි විමසිල්ලෙන් පසුවන බව‌යි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ නව ක්‍රීඩා නීතියක් මෙන්ම නව ක්‍රීඩා අධිකාරියක් ගෙන ඒ්මට පියවර ගන්නා බවත්, ක්‍රිකට් ක්‍රීඩාව අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් අවශ්‍ය බවත්, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සැදීමට මෙරටින් පහසුකම් සපයන්නේ නම් ඔවුන්ට ක්‍රීඩාංගණ දෙකක් සාදාදීමට හැකි බවත් ජෙයී ෂා මහතා සඳහන් කර ඇත.

එමෙන්ම සෑම ගමකටම එක් ක්‍රීඩා පිටියක් බැගින් සදාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.