වියදම් කපාහැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට කොළඹ – 07 ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත ගෙනයෑමට අලුතින් පත් වූ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු උපදෙස් ලබාදී ඇත.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 4.2 ක සැළකිවයුතු මාසික වියදමක් දරනු ලබයි.

රාජ්‍ය ඇමැතිවරයාට ක්‍රීඩා අමාත්‍යාංශ කාර්යාලයේ සිට ඵලදායි ලෙස රාජකාරී කළ හැකි බව ප්‍රකාශ කරණ ඇමැති ප්‍රනාන්දු, පවතින යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රායෝගික බව අවධාරණය කරයි.

තමා සංචාරක ඇමැතිවරයාද වන බැවින් ක්‍රීඩා රාජ්‍ය ඇමැතිවරයාට කොළඹ – 07 ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට කටයුතු කිරීමට ඉඩ සලසමින් තම කාර්යාලය සංචාරක අමාත්‍යාංශයේ තවදුරටත් පවත්වාගෙන යන බව හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

එසේම මෙම පියවර මගින් වාර්ෂිකව ඉතිරි වන රුපියල් මිලියන 50 ක පමණ මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට වෙන්කරන ලෙස ද ඇමැති ප්‍රනාන්දු අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.