ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා මෙම මස 22දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (10දා) නියෝග කළා

රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් අතර ටැටූ ආයතනයේ හිමිකරු, ඔහුගේ සොහොයුරු, ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන්, ඝාතකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ පුද්ගලයන් සිටින බව පොලිසිය පවසයි.

පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ කංජිපානි ඉම්රාන් සහ ක්ලබ් වසන්ත අතර මුදල් සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතුවූ බවත් කංජිපානි ඉම්රාන්ගේ නියෝග මත ඩුබායිහි සැඟව සිටින අහුංගල්ලේ ලොකු පැටී ඇතුළු පාතාල මැරයන් විසින් මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කර ඇති බවත් ය.

මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් හඳුනාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් ඝාතකයන් සොයා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටිනවා