2019 වසරේදී පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායිහීදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්ත හෙවත් වසන්ත සුරේන්ද්‍ර  පෙරේරා ​ද සම්බන්ධ බව​ට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මාකදුරේ මධූෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක් ද ක්ලබ් වසන්ත භාරයේ තිබූ බවට වාර්තා වන අතර එම මුදල් තමන්ට ලබාදෙන ලෙසට කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්තට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවටද තොරතුරු වාර්තා වන නමුත් ක්ලබ් වසන්ත විසින් එම මුදල් ලබාදී නැහැ.

ඒ අනුව මීට මාස කිහිපයකට පෙරදී නුවරඑළිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළත් එය අසාර්ථක වී තිබෙන බව සදහ​න්.

එවැනි පසුබිමකදී ක්ලබ් වසන්ත අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම මාස 03ක කාලයක සිට සැලසුම් කර ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ ටැටූ ආයතනයේ හිමිකරු ද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු  අනාවරණ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ටැටූ ආයතනයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම ටැටු ආයතනයේ හිමික​රු ටැටූ ආයතනයක් ආරම්භ කිරීමේ මුදල් සොයාගැනීම​ට ඔහුගේ මිතුරෙකු හරහා විදේශගත පුද්ගලයෙකු සමග සබඳතා පවත්වා තිබෙන බවත් මෙම ආයතනය ආරම්භ කිරීමට  එම විදේශගත පුද්ගලයා  ඔහු විසින් මුදල් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා

මෙ​ම ආයතනය විවෘත කිරීම සඳහා උත්සවයක් සංවිධාන කරන ලෙසත් ඊට ක්ලබ් වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශගත පුද්ගලයා විසින් ටැටූ ආයතනයේ හිමිකරුට දැනුම් දී තිබෙන අතර ඒ අනුව ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා ක්ලබ් වසන්තට එම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනය පිළිගත් ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ මෙන්ම ගායන ශිල්පිනී කේ සුජීවා ඇතුළු පිරිසක් ඊයේ පැමිණ තිබුණා.

එහිදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තප්පර 17ක් ඇතුළත අදාළ පිරිසට වෙඩි තබා පලායන ආකාරය CCTV කැමරාවල සටහන්ව ඇති ආකාරය දැකගත හැකි අත​ර

එම වෙඩි තැබීම හමුවේ ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ, කේ සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළමුව මෝටර් රථයකින් පලාගොස් තිබුණ අතර ඔවන් එම මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමා වෑන් රථයකින් පලාගොස් ඇති බව වාර්තා වේ

සිද්දිය සම්බන්ධයෙ​න් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.