කැලණිය සරසවියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී ඇති බව අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි. ඔහු පවසන්නේ විශ්වවිද්‍යාලය තුළ සිට එලෙස මත්පැන් පානය කර ඇති බවයි.

ඊයේ (22) රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඔහු මත් පැන් පානය කර ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට ගොස් ඇති අතර, එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් තිබෙන බව විමර්ශන වලදී හෙලි වී ඇත.

ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බව ද නිහාල් තල්දූව පවසයි.

නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී එලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් වන ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙකි.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර ඔහු උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.