ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබී ඇත.

මෙරට කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France Institut De L’Elevage (French Livestock Institute) සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය AFD ( French Agency for Development) මේ සඳහා ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර තිබේ.

ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.

කිරිගව පාලනය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අදාල ආයතන වලට යෝජනා කිහිපයක් ලබා දී ඇති අතර එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත.

මෙරට කිරි කර්මාන්තයේ ධාරිතාව වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණා සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබේ.

මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.