ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.

මෙම කුකුළු පැටවුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු ගොවිපොළවලට ලබා දී ඇත.

රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට මෙම සතුන් නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.