මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාර භූමියට අයිති නොවන අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් යවා ඇත.

එල්ලාවල මේධානන්ද හිමියන් එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදී අරගලවලට සහය දක්වන පුද්ගලයන් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේ දී ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත්, බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බවත්, මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් එම ලිපියේ සඳහන්ව ඇත.

දැනට ද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනෙන නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේ දී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවට අවදානමක් ඇති බව ද මේධානන්ද හිමියන් සිය ලිපියෙන් අවධාරණය කරයි