හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප හිමි වුණා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, 07වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර, 12වන සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය මෙලෙස ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කර තිබුණා

ඒ අදාළ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්වී ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුණි.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය.

ඇප නියමවූ සැකකරුවන් සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති බවත්, දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් ඔවුන්ගේ හෘද රෝගී තත්ත්වයන් උත්සන්නව ඇති බවට වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එම වෛද්‍ය මණ්ඩල වාර්තා අනුව සනාථ වී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමකට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

තවද පුර්ණ අබාධිත තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

එබැවින් අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයට යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ, අවුරුදු 71 වයසේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැලකිය යුතු රෝගවලින් පීඩාවිඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවද සඳහන් කළ අතර මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවය.

එමෙන්ම 08වන සැකකරුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව වෛද්‍ය වාර්තා අනුව නිරීක්ෂණය වන බව ද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

ඒ අනුව ඉදිරිපත්ව ඇති වෛද්‍ය නිර්දේශ සුවිශේෂි කරුණු ලෙස සලකා සැකකරුවන් ඇප මත නිදහස් කරන බව මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කළ පළමු සැකකාර සුදත් ජානක නමැත්තා අද දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී පළමු වන සැකකාර ඖෂධ සමාගම් සැපයුම් හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු සම්බන්ධයෙන් දින 14න් 14ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු නඩුව සඳහා පෙනී සිටීමට සුදුසු තත්ත්වයට සුව වූ පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

කෙසේ වෙතත් අද කොළඹ මහාධිකරණයේ සහ මහනුවර මහාධිකරණයේ විභාගවීමට නියමිත වෙනත් නඩු කටයුතු නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරටත් බන්ධනාගාර රෝහලේ රැඳී සිටින බව සඳහන්.