සිව් වසරක සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන්ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල සහ අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී යන මහා නාහිමිවරුන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

2024.03.28 දින කූරගල රජමහා විහාරස්ථානය පිළිබඳ 2016 වසරේ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටියද උන්වහන්සේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬක් නැගූ බවත් සමාජයේ සිදුවන ඇතැම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ දැනුවත් කිරීමට ද කටයුතු කළ බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එහි දැක්වෙන්නේ ඇතැම් අන්තවාදී බලවේග ශ්‍රී ලාංකීය සමාජය තුළ පැතිරීම වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශවලට උන්වහන්සේගේ සහාය ලැබුණු බව නොරහසක් බවයි.

එමෙන්ම ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරය දරමින් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව ජාතික සමගිය සහ සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව කටයුතු කර ඇති බව පැහැදිලි වන බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු වී වෙසක් පුණ්‍ය උත්සවය නිමිත්තෙන් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන්ට ජනාධිපති සමාව ලබා දෙන්නේ නම් එය අගනා බව අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.