එකතු කළ අගය මත පනවනු ලැබූ බදු අනුපාතය (VAT) වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පළමු මාස 9 තුළදී එම බද්දෙන් ලැබූ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 505 දක්වා 62.6%කින් සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්ව ඇත.

මෙය 2023 වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ එකතු කළ අගය මත බදු ආදායමෙන් 55.6%ක් බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

2023 වර්ෂයේ මුල් මාස 9 තුළදී දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වලින් ලද එකතු කළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 351.6 දක්වා 81.4%කින් වැඩි වී ඇති අතර, ආනයන මගින් ලද එකතු කළ අගය මත බදු ආදායම මෙම කාලසීමාව තුළ රුපියල් බිලියන 153.4 දක්වා 31.5%කින් වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන්ව ඇ​ත

2022 වර්ෂයේ ජුනි 1දා සිට බල පැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 8% සිට 12% දක්වා වැඩි කර ඇති අතරම, නැවත වතාවක් 2022 වර්ෂයේ සැප්තැම්බර් 1දා සිට බල පැවැත්වෙන පරිදි 15% දක්වා වැඩි කර තිබිණි.

මෙම වර්ෂයේ ජනවාරි මස 1දා සිට වැට් බදු අනුපාතය 18% දක්වා වැඩිකොට ඇත.