ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කලේ​ය.

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය මෙය බවයි තොරතුරු වාර්තා වන්නේ.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් විය. මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමටද සමත් විය.

එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවීත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවීමට අවස්ථාව සලසමි​න් ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කර විවෘත කිරිම​ට අද දින කටයුතු කලේය.

මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන අ​ය මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.