ගොවිජන- වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වූ ඒකකයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ඇත.
රටේ පවතින වනගහනයට සාපේක්ෂව දරාගත නොහැකි අන්දමට වන සත්ව ගහනය ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන- වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වන ඒකකයක් Agrarian – Wildlife Conflict Management Unit ස්ථාපිත කරන ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර තිබේ.
වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධව විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සත්ව අයිතින් සුරැකීමේ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිස්වල සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් එහි වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට ඉදිරිපත් කර ඇත.
එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙරට වන සත්වගහනය පවතින වනගහනයට සාපේක්ෂව දැනටමත් ඉහළ ගොස් ඇති බවය.
මේ නිසා වාර්ෂිකව වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ප්‍රමාණය ඉහළ යමින් තිබේ.
වගාවන්ට හානි සිදු කරන සතුන් වර්ග පහක් හඳුනාගෙන ඇත. රිළවා, මොනරා, දඬුලේනා, වඳුරා හා වල් ඌරා ප්‍රධාන වේ. ඒ අතරිනුත් පොල් ත්‍රිකෝණයට බරපතලම හානිය සිදු කරනු ලබන්නේ රිළවුන් විසිනි. 2022 මුල් මාස හය තුළ රිළවූන් හා දඩුලේනුන් විසින් විනාශ කර ඇති පොල් ගෙඩි ප්‍රමාණය ගෙඩි මිලියන 92කි. වසර අවසන් වන විට එම ප්‍රමාණය මිලියන 200 ඉක්මවා ඇත.
මීට අමතරව ලෝක කම්කරු සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව වනසතුන්ගෙන් සිදුවන හානිය නිසා රටට අහිමි වන පලතුරු හා එළවලුවල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 200-250ත් අතර ප්‍රමාණයක් වේ.
මේ නිසා ම මේ වනවිට එම සතුන් ආරක්ෂක සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවද විද්වත් කමිටුව විසින් ගොවිජන – වනසත්ව ගැටුම්කළමනාකරණය සඳහා පහත දැක්වෙන විසඳුම් කෙටිකාලීනව ක්‍රියාත්මක කරන ලෙස සඳහන් කර ඇත.
එහි දී වනසත්ව හා වෘක්ෂලතා පනතට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම, පනතේ සාංරක්ෂණය කල යුතු සතුන් ලැයිස්තුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා බරපතල හානි ඇතිකරන පලිබෝධකයන් බවට පත්ව ඇති සතුන් තාවකාලිකව ඉවත් කිරීම, පතුරම් තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කිරීම,මහා පලිබෝධකයන්ගේ හානිය වැඩිපුර දක්නට ලැබෙන තෝරාගත් ප්‍රදේශවල සත්ව මාංශ අලෙවිය හා පරිභෝජනයට ඇති නීතිමය බාධා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුදැනුම සහ සහයෝගය ඇතිව ලිහිල් කිරීම, දිගුකාලීන, මධ්‍ය කාලීන හා කෙටිකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා රැසක් විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
නිර්මාණි ගුණරත්න