පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිතය.

එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු මෙම විරෝධතා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද සදහන් වේ.