ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුම වලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී (02) විශේෂ ප්‍රකාශයක් කරමින්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37 ක් වන අතර, එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ඔහු එහිදී පැවසීය.

තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බවයි.