ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් ලබන ජුලී මාසය වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙත දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පවසා තිබේ.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවත් එම ඉල්ලීම්වලට ජුලි මාසයෙන් පසුව සුදුසු විසදුම් සලකා බැලීමට ජනාධිපතිවරයා මෙම කාලය ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

එතෙක් සිය පක්ෂය ඉවසීමෙන් කටයුතු කරන බවද ජනවාර්ගික ගැටලුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසදුමක් ලබා දෙන්නේ නම් සිය පක්ෂයට ඉන්දියාවට යාමේ වුවමනාවක් නැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

රාජිනි මෙන්ඩිස්