ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයකින් පමණක් බව තමන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මගින් පෙනී යන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් ගජේන්ද්‍ර කුමාර් පවසා ඇත.

පොලිස් නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කළා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන්ග ජේන්ද්‍ර කුමාර් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අධිකරණයෙන් ඇප මත නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයා මෙහිදි අවධාරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් විසින් කිසිදු අවස්ථාවක මෙරට ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලබා නොදෙනු ඇති බවය.

හෑත්තෑ වසරක කාලයක් මෙරට දෙමළ ජනතාව ආරක්ෂක අංශ වල මර්දනයන්ට ලක්වූ බව පැවසු ගජේන්ද්‍රකුමාර් මහතා වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසියේ මර්දනයන්ටත් දෙමළ ජනතාව ලක්ව සිටින බව කීය.

තමන්ව අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට පොලිසිය සම්බන්ධ වුවත් එම පාර්ශවය පිළිබද විමර්ශන සිදු නොකොට තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණු බවද මන්ත්‍රීවරයා මෙහිදි වැඩි දුරටත් චෝදනා කර ඇත.

රාජිනි මෙන්ඩිස්