ජනසභා සංකල්පය සහ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පිළිබඳව මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් අනුනායක හිමිපාණන්වහන්සේලා මෙන්ම ප්‍රදේශයේ ප්‍රධාන හිමිපාණන් වහන්සේලා දැනුවත් කිරීමට සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා පෙරේ​දා (02) කටයුතු කළේය.

ඒ නව වසරේ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගැනිමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් අනුනායක හිමිපාණන්වහන්සේලා මෙන්ම ප්‍රදේශයේ ප්‍රධාන හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාදය ලබාගත් අවස්ථාවේ දිය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කල කරු ජයසූරිය මැතිතුමා,

“අළුත් අවුරුද්දේ දළඳා වහන්සේ වැඳගෙන මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම අපි නොකඩවා සිදු කරන චාරිත්‍රයක්. අපිට ඒ අවස්ථාව ලැබුණා. උන්වහන්සේලා එහිදී අපට ආශිර්වාදය හා අවවාද අනුශාසනා ලබා දුන්නා. රටේ දැවෙන ප්‍රශ්ණ ගැනත්, මෙතෙක් කල් අතපසු වුණු ජාතික ගැටළු වලදී උන්වහන්සේලා පෙරමුණට පැමිණෙන බව සඳහන් වුණා. එය අපිටත් ධෛර්‍යයක්.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අතිගෞරවණීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනයේදී ස්ථාපිත කළේ රටේ යුක්තිය සාධාරණය රජයන සමාජයක් ඇතිකිරීමට. එදා පැවති විධායක ජනාධිපති පදවිය 18 වැනි සංශෝධනයෙන් අසීමිත බලතල ලබාගත්තා. ඒ තුළින් රාජ්‍යකරණය දේශපාලනීකරණය වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල බිඳවැටීමක් ඇති වුණා.

2015 ජනාධිපතිවරණයේ දී ඊට වටා ගොසින් යහපාලන රජයකට වරමක් ඉල්ලුවේ විධායක ජනාධිපති පදවිය අහෝසි කරන්න. අපි අදත් ඒ මතයේ ඉන්නවා. අනාගත ජනාධිපති අපේක්ෂකයින්ට ජනතාවට පොරොන්දුවක් දෙන්න පුළුවන් මෙය අවසාන ජනාධිපතිවරණය බවටත්, තමන් ජයග්‍රහණය කළහොත්, මැතිවරණයෙන් ජනවරමක් ලබාගෙන සීමිත කාලසීමාවක් තුළ අහෝසි කිරීමට පොරොන්දුවක් දෙන්න පුළුවන්.
අප රටක් වශයෙන් පිරිහුණේ අප තුළ ජාත්‍යාලය නොමැති වීම. ලෝක යුද්ධ දෙකකින් විනාශ වුණු ජර්මනියත්, ජපානයත්, එමෙන්ම දකුණු කොරියාවත් අද ධනවත් වුණේ ජනතාව තුළ තිබූ ජාතික එකඟතාවය නිසා.

අසාර්ථක හමුදා කුමන්ත්‍රණ, තරුණ අසහන 2ක්, ත්‍රස්ත ක්‍රියා, ජාතීන් අතර /ආගම් අතර අසමගිකම් හා කුරුන්දි විහාරයේ ප්‍රශ්ණයත් ගැටුම් වලට මුල් පෑදුවා.

නිදහස ලබාගෙන අවුරුදු 75 ක් ගියා. අපි දැන්වත් ඉටුකළ යුතු වැදගත් කාර්යභාරයන් කිහිපයක් තිබෙනවා.

තවමත් සිංහල ද්‍රවිඪ ජාතීන් ජීවත් වන්නේ අවිශ්වාසයෙන්. මේ ප්‍රශ්ණය විසඳනතුරු මේ රටට අනාගතයක් නැහැ. දේශීය වශයෙන් හා අන්තර්ජාතිකව අප සමඟ එකඟ නොවුණු GTF (ලෝක දෙමළ සංසදය) රටේ ආගමික, දේශපාලන හා සිවිල් සංවිධාන නායකයින් හමුවී සංහිඳියාවක් ඇතිකරගැනීමට විශාල ඕනෑකමකින් කතා කළා. කිහිපදෙනෙුන් හැර සමාජයේ අති බහුතරයක් මෙය තවදුරටත් අධ්‍යනය කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මෙම අදහස් අධ්‍යනය කර සියළු ජාතීන්ට අයත් බුද්ධිමතුන් කණ්ඩායමක් මඟින් මෙම යෝජනා ගැඹුරින් අධ්‍යනය කර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වන්නේ මෙම වාර්තාව පළමුව ආගමික නායකත්වයේ අවධානයට යොමු කරන්න. මෙතෙක් දේශපාලන හේතුන් මත එම ක්ෂේත්‍රයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී නැහැ.

ඉතිහාසය දිහා බලනවිට මේ රටේ දේශපාලන ක්‍රියාදාමයන් එළිදැක්කේ සිවිල් සමාජයේ ප්‍රමුඛත්වයෙන්.

17 වන සංශෝධනය, තොරතුරු දැනගැනීමේ පනත, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා තුලින් තරුණයින්ට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීමට අවකාශය ලබා දීම, ජනසභා ක්‍රමය මෙන්ම අල්ලස් දූෂණ පනත ගෙන ඒමට වැඩියෙන්ම ක්‍රියාකාරී වුණේ සිවිල් සමාජය.

අපි අද මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවණීය මහාතෙරුන්වහන්සේලා හමුවී ඉල්ලාසිටියේ රටට පිළිකාවක් වුණු විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් ජාතික සංහිඳියාවක් ඇති කරගැනීම සඳහා සියළුම පාර්ශව සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් දියත් කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.

යහපාලන රජයේ දී නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට හා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට ගත් උත්සාහයන් බිඳවැටුනේ පටු දේශපාලන මතිමතාන්තර ඇතිවූ නිසයි. පිරිසිදු සිතින් අපි අද නුවරට ආවේ මේ ජාතික ආයාචනය කරන්න. අපේ මේ උත්සාහය නූපන් පරපුරට සතුටින් ජීවත් විය හැකි වාසනාවන්ත රටක් බිහි කරන්න. අපි කාගේවත් දේශපාලන බලාපොරොත්තු නැහැ.මාධ්‍යය මේ සඳහා විශාල මැදිහත් වීමක් කළයුතුයි මෙන්ම ඔවුන්ටත් විශාල වගකීමක් තිබෙනවා.”

යනුවෙන් අදහස් දැක්වීය.