පුද්ගලයින් 36දෙනෙකුට මරු කැඳවමින් 2019 දී Kyoto සජීවිකරණ චිත්‍රාගාරය (KyoAni) ගිණි තැබිම සම්බන්ධයෙන් Shinji Aoba නම් 45 වියැති ජපාන ජාතිකයෙකුහට අධිකරණය විසින් ඊයේ (25) මරණීය දණ්ඩනය ලබා දී ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

Shinji Aoba හට මානසික දුර්වලතාවයක් (mental incompetence) පවතින බවට ඔහුගේ නිතීඥයන් තර්ක කළද, Kyoto දිස්ත්‍රික් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණේ අපරාධය සිදු කරන අවස්ථාවේ කිසිඳු මානසික ගැටළුවක් හෝ දුර්වලතාවයක් නොපැවති බව අවධාරණය කරමින්. ජපානය මෑතකදී මුහුණ දුන් භයානකම ඛේදවාචකයක් වන මෙම සිද්ධියෙන් චිත්‍රාගාරයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවන් රැසකට ජීවිත අහිමි වූ අතර, බොහෝ පිරිසකට තුවාල සිදු වුණා. Shinji Aoba විසින් ගොඩනැගිල්ලේ බිම්මහළට පැට්‍රෝල් වත්කොට ගිණි තබා ඇති අතර, එයින් ඔහුද බරපතළ පිළිස්සුම් තුවාල ලැබුවා. සිරුරේ 90%ක පමණ පිළිස්සී තිබීම හේතුවෙන් ශල්‍යකර්ම 12කට පමණ මුහුණ දී ඇති ඔහු මේ වනවිටත් ඔත්පළව පසු වන බවයි වාර්තා වන්නේ.