ජාතික ඔලිම්පික් කමිටුව තුළ පැනනැගී ඇති අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙරටට ලබා දෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා දමන්නට පසුගියදා පියවර ගෙන ඇ.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරී කිහිප දෙනෙකුට බරපතල වූ අක්‍රමිකතා චෝදනා එල්ල වන පසුබිමක ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරින් සමඟ සාකච්ඡාවක නිරත විය.

ඊට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු ඔලිම්පික් කමිටු සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් එක්ව සිටියේය.

මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් හේතුවෙන් එය ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ ඇති තීරණයට ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදය බලපා ඇති බවත්, විශේෂයෙන්ම මෙම අර්බුදය නිසා ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස නිදහසේ කරගෙන යෑමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබීම තව දුරටත් සිදු නොවිය යුතු අතර සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන්ට වෙත වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ඉදිරියේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.