වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සම්පූර්ණ වන්නේය. විහාර මහාදේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බවට ඉතිහාසයේ සඳහන්ව ඇති නමුත් මෙරට වැසියන් එවන් අත්දැකීමකට නොසිතූ අයුරින් මුහුණදීමට 2004 දෙසැම්බර් 26 වැනිදා සිදු විය.
මේ අය සිහි කිරීම පෙරදැරිව ආරම්භ කළ ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9ට ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේදී පැවැත්වේ.
ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘ජාතික සුරක්ෂිත දිනය’ සැමරුම් උත්සව පැවැත්වීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධාන කර තිබේ.
එමෙන්ම අද (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීමට එක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයෝ 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වූහ. දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශය ගණනය කිරීමේදී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සාමාජීය බලපෑම ගණනය කළ නොහැකිය. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.
එසේම 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ වශයෙන් නම් කර තිබෙන අතර 2005 වසරේ සිට මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ‘ජාතික සුරක්ෂිත දිනය’ සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් සර්වආගමික වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එසේම ආපදා පෙර සූදානම ඇති කිරීම සඳහා විවිධ වැඩසටහන් මාලාවක් ද සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.