බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් නායක ටමිම් ඉක්බාල් වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් වෘත්තීය ජීවිතය අවසන් කිරීමට තීරණය කර ඇත.

ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස තුනකට පෙර ඔහු මෙම විශ්‍රාම ගැනීමේ තීරණය ගෙන තිබේ.

පසුගියදා පැවති බංගලාදේශය ඇෆ්ගනිස්ථානය එක්දින තරග තුනෙන් පළමු තරගය පරාජය වීමත් සමග පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

‘මෙය මගේ අවසානයයි. මම මගේ උපරිමය ලබා දුන්නා. මම මගේ උපරිමය කළා. මම මේ මොහොතේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා,” “මගේ දිගු ගමනේදී මගේ කණ්ඩායමේ සගයන්, පුහුණුකරුවන්, BCB නිලධාරීන්, මගේ පවුලේ සාමාජිකයන් සහ මා සමඟ සිටි සියලුම දෙනාට ස්තූති කිරීමට මට අවශ්‍යයි. ඔවුන් මා කෙරෙහි විශ්වාසය තැබුවා.මට ප්‍රේක්‍ෂකයන්ටත් ස්තූති කිරීමට අවශ්‍යයි. ඔබ මා කෙරෙහි ඇති ආදරය සහ විශ්වාසය බංග්ලාදේශය වෙනුවෙන් මගේ උපරිමය ලබා දීමට මා තුළ පෙලඹීමක් ඇති කළා. මට මගේ ජීවිතයේ මීළඟ පරිච්ඡේදය සඳහා ඔබේ යාච්ඤාවන් ඉල්ලා සිටීමට අවශ්‍යයි. කරුණාකර මාව ඔබේ යාච්ඤාවල තබා ගන්න’ යනුවෙන්ද ඔහු එම මාධ්‍ය හමුවේදී සදහන් කර තිබේ.