අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

ඉරාන් වික්‍රමරත්න මේ බව පවසා සිටියේ අද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇතැම් පාර්ශ්ව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බැවින් විපක්ෂ නායක ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට සැකයක් පවතින බව ඉරාන් වික්‍රමරත්න එහිදි ප්‍රකාශ කර ඇත.

එහිදි අදහස් දැක් වු මන්ත්‍රීවරයා,
‘‘අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් විශාල කණගාටුවක් තිබෙනවා. ලංකාවෙත් ඇතැම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට නොහැකි වුණාම මෙවැනි ක්‍රම අනුගමනය කරලා තිබෙනවා. මෙවැනි දේශපාලනයෙන් අපි ඉවත් විය යුතුයි. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බැලිය යුතුයි. ඔහුට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදීම වර්තමාන රජයේ වගකීමක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කරන්නේ ආයුධවලින් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලනය කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් සහ මැතිවරණවලින්.