ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගම, ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලියේ හටගත් දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ලොව වැඩියෙන්ම අලෙවිවන මෝටර් රථ නිෂ්පාදනය ජපානය තුළ නැවතී තිබේ.

දෝෂය හේතුවෙන් මෝටර් රථ උපාංග සඳහා ඇණවුම් යොමු කිරීම අපහසුවී ඇති බව සඳහන් වේ.

එම සමාගමේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ දෝෂය හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර එය සයිබර් ප්‍රහාරයක් බව නොසිතන බවය.

අඟහරුවාදා උදෑසන පළමුවෙන් කර්මාන්ත ශාලා 12ක නිෂ්පාදන කටයුතු නවතා දැමුණු අතර පසුව ඉතිරි කර්මාන්ත ශාලා දෙකෙහි කටයුතුද නවතා දැමිණි.

මෙම කර්මාන්ත ශාලා 14 මගින් ටොයෝටා සමාගම නිපදවන මෝටර් රථ වලින් 3න් 1ක් නිපදවනු ලබයි.

මෑත කාලයේදී ජපානය තුළ පිහිටි ටොයෝටා කර්මාන්ත ශාලා සඳහා විවිධ බාධක මතුවිය.

පසුගිය වසරේදී සැපයුම්කරුවෙක්ට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම නිසා නිෂ්පාදන කටයුතු සඳහා බාධා එල්ලවුණි.

එක් දිනකට බලපෑ බාධාව හේතුවෙන් මෝටර් රථ 13,000ක පමණ නිෂ්පාදනය ඇණහිටිණි.