ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට තවත් විශිෂ්ටයෙකුගේ නමක් එක් කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් ඇන්ඩෲ වෝනර් අද ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන්නේය. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහිදී පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 08ක ජයක් වාර්තා කරමින් ටෙස්ට් තරගාවලියද 3-0 ලෙස ජය ගත්තේය.

ඩේවිඩ් වෝනර් සිය අවසන් ටෙස්ට් ඉනිමේදී ලකුණු 57ක් රැස් කළේ 37වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමිනි. ඔහු සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළේ 2011 දෙසැම්බර් මාසයේදීය. එතැන් පටන් ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර ඇති වෝනර් රැස් කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 8,786කි. ඊට ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත්ය. ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය 44.82කි.