ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන 100ක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල දක්වා සිටින සියලු සර්ව ආගමික නායකයන් වෙත සාමයේ ප්‍රතිඥාවක් සහ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීම ඊයේ (04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයෙන් ආරම්භ කර ඇත.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම නාහිමිපානන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව මහනුවර ගණ දෙවි කෝවිලේ භාරකාර මණ්ඩලය, මාවිල්මඩ හින්දු කෝවිලේ කුරුක්කලතුමන්ලා, මාවිල්මඩ ජුම්මා පල්ලියේ මවුලවිතුමන්ලා සහ භාරකාර මණ්ඩලය, සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් වෙත මෙම ඉල්ලීම් මාලාව ඉදිරිපත් කර ඇත.

මෙම සියලු හමුවීම් වලින් වාර්ගික ගැටළු සහ ආගමික ගැටළු හේතුවෙන් හිංසනයන්ට හා අයුක්තියට භාජනය වූවන්ට යුක්තිය ඉටු කිරීම, දේශපාලන සංස්කෘතිය තුලින් ජාතිවාදය හා ආගම්වාදය තුරන් කිරීම, ව්‍යාපාරික අරමුණු සඳහා ජාතිවාදය හා ආගමික ගැටුළු නිර්මාණය කිරීම් වැලැක්වීම සහ ජාතික සමගි ගොඩනැගීමෙහිලා පොදු ප්‍රයත්නයක නිරතවීම යන කරුණු පිළිබඳව සාකච්චා කර තිබේ.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන නියෝජිත පිරිස අද (05) වවුනියාව සිය යාපනය බලා පිටත් වීමට නියමිතය.